මධ්‍යසාර ඔබේ සෞඛ්‍යයට අහිතකර වන ක්‍රම හතරක්

ඔස්ට්‍රේලියාවේ වසරකට මධ්‍යසාර නිසා 6000ක් පමණ මිය යන අතර දිනකට 400ක් පමණ රෝහල්ගත කෙරේ. සෙසු රටවල ද ඇත්තේ මේ හා සමාන තත්ත්වයකි.

මධ්‍යසාර නිසා ඇති වන දිගුකාලීන අවදානම දැඩි මත් ලෝලීන්ට පමණක් සීමා නොවන අතර ඒ පිළිබඳ බොහෝ දෙනෙකුට අවබෝධයක් නොමැත. එහෙයින් සමාජයේ වළක්වාගත හැකි මරණ සහ රෝගාබාධ බොහාමයක් සඳහා මධ්‍යසාර මූලික හේතුවක් බවට පත්ව ඇත.

මධ්‍යසාර නිසා හට ගන්නා රෝගාබාධ අතර බඩවැලේ පිළිකා, මුඛ සහ අන්තස්‍රෝත පිළිකා, පියයුරු පිළිකා, හදවත් රෝග, ශ්වසන ආසාදන සහ මානසික සෞඛ්‍ය ගැටලු ආදිය වෙයි. පුරස්ථි පිළිකා වැනි රෝග සමග ද මධ්‍යසාර පානය සම්බන්ධ බවට සාක්ෂි ලැබෙමින් පවතියි.

මධ්‍යසාර පානයෙහි පරම්පරානුගත බලපෑමක් ඇති බව සනාථ වී ඇති අතර ඒවා මුළු ජීවිත කාලයටම බලපවත්වයි.

මධ්‍යසාර භාවිතය සමග ඉතාම දැඩි සබඳතාවක් ඇති බවට සාධක ලැබී ඇති රෝග තත්ත්ව හතරක් මෙසේය.

  1. පිළිකා

ඔස්ට්‍රේලියාවේ පිළිකා නිසා මිය යන වැඩි පිරිසක් එනම් 1/3ක් හෙවත් 2000ක් පමණ මිය යන්නේ මධ්‍යසාර පානය නිසා ඇති වන පිළිකා රෝගවලිනි. කාන්තාවන් වැඩි පිරිසක් මිය යන්නේ පියයුරු පිළිකා නිසා වන අතර දෙවනුව අක්මා පිළිකා නිසාය. පිරිමි වැඩ පිරිසක් අක්මා පිළිකාවලින් මිය යන අතර බඩවැල් පිළිකා දෙවන තැනට පත්වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය දශක තුනකට පෙර මධ්‍යසාර ද දුම්කොළ මෙන්ම පිළිකා කාරයක් ලෙස හඳුනා ගත්තේය. එහෙත් බොහෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ තවමත් මධ්‍යසාර සහ පිළිකා අතර සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ නොකරති.

මධ්‍යසාර ලොව පුරා ප්‍රමුඛ පිළිකා කාරකයක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර වසරකට සිදුවීම් 770 000ක් පමණ වාර්තා වෙයි.

මධ්‍යසාර අඩු ප්‍රමාණයක් පානය කළ ද පිළිකා හට ගැනීමේ අවදානම වැඩි විය හැකි අතර පානය කරන මධ්‍යසාර ප්‍රමාණය වැඩි වන විට අවදානම ඉහළ යයි.

දිනකට මධ්‍යසාර ග්රෑම් 20ක් පානය කළත් බඩවැලේ පිළිකා අවධානම ඉහළ දමයි. දිනකට මධ්‍යසාර ග්රෑම් 10ක් පානය කිරීම වර්ග කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම 12%කින් ඉහළ දමයි. එසේම දිනකට මධ්‍යසාර ග්රෑම් 10 පානය කළ ද ගලනාල පිළිකා අවදානම ඉහළ යන අතර මධ්‍යසාර නොබොන අයකුට සාපේක්ෂව දෛනික මධ්‍යසාර ග්රෑම් 100ක් පානය කරන අයකුට පිළිකා ඇති වීමේ අවදානම හතර ගුණයකින් වැඩිය.

මේ හා සමාන සාක්ෂි මුඛ, අන්නසෝත සහ අක්මා පිළිකා සඳහා ද වාර්තා වී තිබේ. දැනට මතු වෙමින් පවතින සාධක අප පුරස්ථි, අග්න්‍යාශ, පෙනහළු සහ පිත්තාශ පළිකා කෙරෙහි ද අවදානය යොමු කළ යුතු බවට යෝජනා කෙරේ.

  1. හදවත් රෝග

මධ්‍යසාර සුළු ප්‍රමාණයක් ගැනීමෙහි යහපත් සෞඛ්‍ය ප්‍රතිඵල පිළිබඳ ඇතැම්හු ප්‍රබල ලෙස කරුණු දක්වති.

එහෙත් විධිමත් ක්‍රමික පර්යේෂණ කිහිපයක් මගින් මධ්‍යසාර පානයෙහි එවැනි සෞඛ්‍ය ප්‍රතිලාභ කිසිවක් නොමැති බව නැතහොත් එවැනි ප්‍රතිලාභ තිබුණ ද බෙහෙවින් සීමිත බව අනාවරණය කර තිබේ. ඇතැම් විටක මධ්‍යසාර පානය හදවතෙහි නිරෝගී බවට හේතු වන බව පැවසුව ද ඒ ඉතාම අවම මට්ටමේ පරිභෝජනයකි.

එහෙත් මධ්‍යසාර පානය අධි රුධිර පීඩනය, හෘද රෝග සහ ආඝාතය කෙරෙහි බලපාන බව හඳුනා ගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ සිදුවන මරණ සහ රෝහල්ගත කිරීම් සඳහා මූලික හේතුව මධ්‍යසාර නිසා ඇති වන හදවත් රෝගය.

  1. තුවාල

මධ්‍යසාර පානය පුද්ගලයාගේ තීන්දු තීරණ ගැනීමේ හැකියාව, ප්‍රතිචාර දැක්වීමේ කාලය හා අවදානම් ගැනීම කෙරෙහි බලපායි. මධ්‍යසාර පානය නිසා සිදු වන වැටීම්, ගිලීම්, රිය අනතුරු, කෝලාහල ඔස්ට්‍රේලියාවේ මෙන්ම වෙනත් රටවල ද රෝහල්ගත කිරීම් සඳහා මූලික හේතුවකි.

ඕස්ට්‍රේලියාවේ සිදුවන මධ්‍යසාර ආශ්‍රිත රෝහල්ගතකිරීම්වලින් 21%ක් සඳහා හේතුව ඇද වැටීම් සහ පහර දීම්ය. මෙහි බලපෑම පවුලේ සාමාජිකයන්, සමාජයේ සෙසු නිර්දෝෂී පිරිස් සහ රජයේ සෞඛ්‍ය වියදම් වශයෙන් සමස්ත සමාජයටම යොමු වෙයි.

  1. ස්නායු-මනස් ආබාධ

මධ්‍යසාර භාවිතය හා සම්බන්ධ හේතු නිසා ඔස්ට්‍රේලියාවේ සිදු කෙරෙන රෝහල්ගත කිරීම්වලින් 37%ක් සඳහා හේතුව අධික මධු ලෝලීත්වය ආදී ස්නායු – මානස රෝග තත්ත්වය.

මධ්‍යසාර භාවිතය සමග සම්බන්ධ මානසික ගැටලු අතර ආතතිය, තමන්ගේ සිරුරට හානි කර ගැනීම සහ සිය දිවි නසාගැනීම ආදිය වෙයි.

මොළය වර්ධනය කෙරෙහි මධ්‍යසාර සිදු කරන බලපෑම පිළිබඳ සාධක ලැබෙමින් පවතින අතර මධ්‍යසාර නිසා මොළයේ තුවාල ඇති වන බව බෙහෙවින් පිළිගත් කරුණකි.

ඔබ මධ්‍යසාර භාවිත නිසා අනතුරකට පත්වීමේ හැකියාව සහ මධ්‍යසාර පානය කරන සංදර්භය එකිනෙකට සම්බන්ධය. එහෙත් දිනකට ග්රෑම් 20ක් හෝ ඊට අඩු ප්‍රමාණයක්  මධ්‍යසාර ලබා ගැනීම සාමාන්‍යයෙන් අඩු අවදානම් මධ්‍යසාර පානය යනුවෙන් සැලකෙයි. කිසියම් එක් අවස්ථාවක ග්රෑම් 40ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් පානය කිරීම ද අඩු අවදානම් මධ්‍යසාර පානය යනුවෙන් සැලකෙයි. (මෙය ඒ ඒ රටේ කාලගුණ දේශගුණ ආදි සාධක මත වෙනස් විය හැකිය.)

කෙසේ වුවද වඩාත් ආරක්ෂිත වන්නේ මධ්‍යසාරය පානය නොකර සිටීමය. අවුරුදු 18ට අඩු අය මධ්‍යසාර පානය නොකළ යුතුය. දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වන හෝ ගර්භණී කාන්තාවන් මධ්‍යසාර පානය නොකළ යුතුය. දරු ගැබ මධ්‍යසාර සඳහා නිරාවරණය වීම නිසා දරුවාගේ ජීවිත කාලය පුරා බලපාන රෝගාබාධ ඇති විය හැකිය. (ශ්‍රී ලංකාවේ බහුතරයක් කාන්තාවන් මධ්‍යසාර භාවිත නොකරන නිසා මේ අවදානම අඩුය. බුදු දහම ද එය නොකළ යුතු බව පවසයි. එම තත්ත්වය දිගටම පවත්වාගෙන යාම වැදගත්ය.)

(theconversation.comහි පළව ඇති Four ways alcohol is bad for your health නම් ලිපියෙහි සිංහල අනුවාදයකි.)