වේදනාව ගැන ඔබ දත යුතු දේ

(කොළඹ ජාතික රෝහලේ වේදනා සමනක සායනයේ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ගයනි වල්පොල මහත්මිය සමග doctor.lk පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරිනි.)

වේදනාව යනු කුමක්ද?

වේදනාව (pain) යනු භෞතික, මානසික යන සෑම ආකාරයකින්ම බලපෑම් එල්ල කරන අප්‍රසන්න අත්දැකීමකි. ඉතා සුළු වේදනා, මධ්‍යම ප්‍රමාණයේ වේදනා සහ උග්‍ර වේදනා ලෙස වේදනාව කාණ්ඩ තුනකට බෙදා වෙන් කළ හැකිය. pain (වේදනාව) යනු ලතින් භාෂාවෙන් paen යන වචනයෙන් බිඳී ආ පදයකි.

වේදනාව ඇති වීමට බලපාන මූලික හේතුකාරක මොනවාද?වේදනාව ඇති වීම සඳහා රසායනික හේතු, යාන්ත්‍රික හේතු, ආසාදන තත්ත්ව , අසාමාන්‍ය සෛල වර්ධන (පිළිකා තත්ත්ව) ආදී හේතු සාධක බලපායි.

වේදනාව ඇති වන්නේ කෙසේද?

සංවේදක ස්නායු තන්තු අග්‍ර ඉහත කී හේතු නිසා උත්තේජනය වීමෙන් වේදනා සංවේදක ගමන් මාර්ගය ආරම්භ වේ. පසුව ස්නායු සංවේදනයට අදාළ විවිධ රසායනික සංවේදක ද්‍රව්‍ය ආධාරයෙන් ස්නායු තන්තු හරහා සංකීර්ණ මාර්ගයක් ඔස්සේ මොළයට සම්ප්‍රේෂණය වේ. මොළයේ බාහිකයේ ඇති විශේෂ සංවේදක ස්ථාන උත්තේජනය වී සංවේදකය අඳුන ගන්නා අතර ඊට අදාළ ප්‍රතිචාර දක්වයි.

වේදනාව හානිදයකද?

වේදනාව කෙටිකාලීන හා දීර්ඝ කාලීන ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිවේ. කෙටි කාලීන වේදනාව අප ආරක්ෂා කරන වේදනාවක් ලෙස දැක්විය හැකි වේ. මෙය ඉතා ඉක්මනින් ඇති වන අතරම වේදනා කාරකය ඉවත් වීමත් සමගම ක්‍රමයෙන් පහව යයි. මෙය ශරීරයේ ආරක්ෂක ක්‍රියාවලියක් ලෙස හඳුන්වා දිය හැකිය.

දීර්ඝකාලීන වේදනාව හානිකර වේදනාවක් ලෙස හැඳින්විය හැකිය. මාස තුනකට වඩා වැඩි කාලයක් පවතින වේදනා මේ යටතට ගැනෙන අතර මෙය රෝග කාරකය ඉවත් වීමත් සමග ඉවත් වීමක් සිදු නොවේ.

වේදනාව නිසා ඇති විය හැකි සංකූලතා මොනවද?

වේදනාව ඇති වීමට හේතුවන කාරකය හා වේදනාව ඇති වන ස්නායු අනුව විවිධ අවයව පද්ධතිවල සංකූලතා ඇති විය හැකි වේ.
ශ්වසන පද්ධතිය – පෙනහළු අක්‍රිය වීම
ආහාර ජීර්ණ පද්ධතිය – ක්‍රියාකාරීත්වය අඩපණ වීම
රුධිර සංසරණ පද්ධතිය – අධි රුධිර පීඩනය, හදවත අක්‍රිය වීම, නහරවල ලේ කැටි සිරවීම
ස්නායු පද්ධතිය – මොලය සම්බන්ධ රෝගී තත්ත්ව, ස්නායු දුර්වලතා වෙනත් සංකූලතා – කොණ්ඩය අඩු වීම, නියපොතු වෙනස් වීම, දහදිය දැමීම, අඩු හෝ වැඩි වීම, සන්ධිවල ක්‍රියාකාරීත්වය අඩපණ වීම

වේදනාවට බලපාන වෙනත් සාධක මොනවාද?

වේදනා කාරකය හා වේදනාව ඇති වූ ස්ථානය හැරුණු විට වෙනත් සාධක රාශියක් වේදනාව ඇති වීම කෙරේ බලපායි. වයස ස්ත්‍රී පුරුෂ භාවය, වේදනාව කෙරේ ඇති අවදානය, සංස්කෘතික වටිනාකම්, ආගමික විශ්වාස සහ තමන් සතු ඉවසීම මේ කෙරේ බලපායි. එමෙන්ම වේදනාව පාලනයට අනුගමනය කරන ක්‍රියාමාර්ග ආදිය මත එක එක පුද්ගලයන්ට දැනෙන වේදනාව වෙනස් වේ. එකම ආකාරයේ වේදනාවක් වුවද පුද්ගලයන් දෙදෙනෙකුට වෙනස් මට්ටම්වලින් දැනෙන්නේ මේ නිසා වේ.

වේදනාව මැනිය හැකිද?

ඔව්. වේදනාව මැනිය හැකි අතර ඊට අගයක් ලබා දීම ඉතා වැදගත්ය. එමගින් වේදනාවට අදාල රෝග නිධානය සොයා ගැනීමට, වේදනාව පාලනයට සුදුසු ක්‍රම අනුගමනය කිරීමට, එම ප්‍රතිකාරවලින් සුවයක් තිබේද යන්න තීරණය කිරීම ආදී වැදගත්කම් රාශියක් හිමි වේ.

වේදනාව මැනීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කෙරෙන අතර වඩාත් පහසු ක්‍රමයක් ලෙස ඉහත අයුරින් අංකවලින් වටිනාකම් ලබා දෙන ක්‍රමය හඳුන්වා දිය හැකිය. මෙහිදී වේදනාව අංක 1 සිට 10 තෙක් ලකුණු ලබා දෙනු ලැබේ.

උපදෙස්


විශේෂඥ නිර්වින්ධන වෛද්‍ය ගයනි වල්පොල මහත්මිය
වේදනා සමනක සායනය
කොළඹ ජාතික රෝහල
සටහන
උදානි නෙත්මිණි