ගර්භණී සමයේ නීරක්තිය වැළඳීම භයානක මේ නිසායි

සෞඛ්‍ය අමාත්‍යංශය බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය සමග doctor.lk පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරිනි.

නීරක්තිය යනු කුමක්ද?

නීරක්තිය හෙවත් රක්තහීනතාව ලෙස අප හදුන්වන්නේ අපගේ ශරීරයේ ඇති රුධිරයේ රතු රුධිරාණුවල අඩංගු හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමයි. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ හිමොග්ලොබින් ප්‍රමාණය ඩෙසිලීටරයකට ග්රූම් 12කි. වයස‍, ස්ත්‍රී පුරුෂ භාවය ආදී කාරණා මත හිමොග්ලොබින් ප්‍රමාණය වෙනස් විය හැකිය.

නීරක්තිය බහුල කුමන පිරිස අතරද?

නීරක්තිය ඕනෑම වයස් කාණ්ඩයක ඇති වෙන්න පුළුවන්. යකඩ ප්‍රෝටීන් අඩු වීම මත නීරක්තිය ඇතිවේ. එසේම තැලසීමියා වැනි ජානමය රෝගී තත්ත්ව නිසාද කලාතුරකින් නීරක්තිය ඇතිවිය හැකිය. ලංකාවේ ප්‍රධානම ක්ෂුද්‍ර පෝෂක ඌණතාවයකි නීරක්තිය. අවු. 5ට අඩු අයගේ හා පාසල් යන වයස් සීමාවේ පසුවන්නන්ගේ හය දෙනෙක්ගෙන් එක් අයෙක්ට එනම් 15% ක්ද, යෞවනයන් 5දෙනෙකුගෙන් 1 අයෙන්ට එනම් 20%ක්ද නීරක්තියෙන් පෙළෙයි. දරුවන් ලබන වයස් සීමාවේ පසුවන (අවු 49 දක්වා) කාන්තාවන් 6 න් 1 අයෙක්ට නීරක්තිය ඇති විය හැකිය.

නීරක්තිය වැළදී ඇත්නම් එය හඳුනාගන්නේ කෙසේද?

ලේ වල හිමොග්ලොබින් ප්‍රමාණය පරීක්ෂා කිරීමෙන් නීරක්තිය හඳුනාගත හැකිය. එසේම නීරක්තිය ඇති විට ශරීරය සුදුමැලි වේ. අධික තෙහෙට්ටුවක් දැනෙයි. නිදිමත ගතිය දැනෙයි. අලස ගතිය දැනෙයි. නිතර ආසාදනවලට ලක්වෙයි. ශරීරයේ ප්‍රතිශක්තිය අඩුය.

ගර්භණී සමයේ නීරක්තිය ඇති වන්නේ ඇයි?

විවහා ජීවිතයට පිවිසි සෑම කාන්තාවකගේම අරමුණ නීරෝගී බුද්ධිමත් දරුවෙක් බිහිකිරීමයි. එයට මූලික වන්නේ මවගේ පෝෂණයයි. මවක් වීමට පෙර සිටම පෝෂණ අවශ්‍යතා සපුරාගත යුතුය. එහිදී යකඩ පෝෂණ අවශ්‍යතාව ප්‍රමුඛවේ. නීරක්තියෙන් තොර විය යුතුයි. රුධිරයේ අඩංගු හිමොග්ලොබින් ප්‍රමාණය ඩෙසිලීටර් ග්රූම් 12 විය යුතුය. එසේ නොමැති අවස්ථාවල මවට නීරක්තිය ඇති වෙයි. එය මවට ද දරුවාට ද අහිතකරය.

නීරක්තිය වැළඳීම දරුවාට සහ මවට බලපාන්නේ කෙසේද?

විවාහා අපේක්ෂිත වයස වන විට උසට සරිලන බර තබාගත යුතුය. එසේම රුධිරයේ නියමිත හිමොග්ලොබින් ප්‍රමාණය තිබිය යුතුය. නීරෝගී මවක්ට දරුවෙක් පිළිසිඳ ගත්තොත් ඒ දරුවා නීරෝගී දරුවෙක් වේ. පළමු මාස දෙකේ දරුවාගේ ඉන්ද්‍රියන් වර්ධනය වීම මූලිකව සිදුවේ. මව නීරක්තියෙන් පෙළේ නම්, එය දරුවාගේ ඉන්ද්‍රිය විකසනයට සෘජුවම බලපායි. එහි ප්‍රතිඵලය ලෙස බර අඩු දරුවෙක් බිහි වෙයි. නීරක්තිය ඇති වූවාම රුධිරයේ අඩංගු හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වේ. දරුවා ඔක්සිජන් ලබා ගන්නේ මවගෙනි. මවගේ රුධිරයේ අඩංගු හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීම නිසා පෙකණිවැල හරහා එන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි . කලලය වර්ධනය සීඝ්‍රයෙන් සිදුවන අවසථාවලදී ඔක්සිජන් ලැබීම අඩුවීම දරුවාගේ වර්ධනය බාලකරයි. කාන්තාවක් ගර්භණී බව දැනගන්නේ සති 6 -8 කට පසුවයි. එවිට දරුවාගේ වර්ධනයේ මූලික අවධිය පසුවී ඇත. මවට නීරක්තිය වැළඳී ඇති නම් දරුවා වර්ධනය අඩු පෝෂණ තත්වයක් යටතේ සිදු වේ.

මෙසේ අඩු පෝෂණ මට්ටමක බිහිවීම දරුවාගේ ස්නායු පද්ධතියට, මොළයට, බුද්ධි වර්ධනයට, ගණිතමය හැකියාවට, තර්කණ හැකියාවට ඍජුවම බලපායි. එසේම දරුවාගේ අඩු ප්‍රතිශක්තිකරණ හැකියාවකින් යුක්ත වන අතර නිතර ආසාදන ඇති වේ. දරුවා මව් කුස තුළ පීඩනයක වර්ධනය වන බැවින් ශරීර අභ්‍යන්තර ක්‍රියාවලිය දුර්වල වේ. එවන් දරුවන්ට අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘදරෝග, පිළිකා ආදි බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම වැඩිය.

ගර්භණී සමයේ නීරක්තිය ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද?

ගර්භණී සමයේ මවක් තම පෝෂණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුය. එහිදී ශරීරයේ වර්ධනයට සහ ආරක්ෂාවට අවශ්‍ය පෝෂක කොටස් අඩංගු සමබල ආහාර වේලක් ලබාගත යුතුය. පිෂ්ටය සහ මේදය අඩංගු බත්, ධාන්‍ය සහ තෙල් අඩංගු ශක්තිජනක ආහාරත්, සත්ත්ව ප්‍රෝටීන සහ ශාක ප්‍රෝටීන අඩංගු වර්ධක ආහාරත්, විටමින් හා ඛනිජ සහිත එළවළු, පලතුරු සහ පලාවර්ග සහිත ආරක්ෂක ආහාරත් එක්විය යුතුය. ප්‍රධාන ආහාර වේල් 3 ඒ අතරට කෙටි ආහාර වේල් 2 ක් ලබාගත යුතුය. අඩු පෝෂණ ඌණතාවක කලලය වර්ධනය වීම දරුවාටත් මවටත් හානිකර හෙයින් නිරක්තිතාවය ඇත් නොවීමට ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා දිය යුතුය.

එසේම වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුය. ගර්භණී මවට ලබාදෙන යකඩ පෙති ගර්භණී සමයේ ඇති විය හැකි විවිධ සංකූලතාවවලින් මවත් දරුවාත් ආරක්ෂා කරයි. එහෙයින් ඒවා වෛද්‍ය උපදෙස් අනුව නිතිපතා ලබා ගත යුතුය.

උපදෙස්

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන
සෞඛ්‍ය අමාත්‍යංශය බෝ නොවන රෝග අංශ