මානසික රෝග කියන්නේ මොනවාද ?

අද විවිධ මානසික රෝග හා මෙවැනි රෝගීන් නිසා සිදුවන විවිධ සිදුවීම් නිතර මාධ්‍යයෙන් අසන්න දකින්නට ලැබෙනවා.ඇතැම්විට ඉතා අමිහිරි ඛේදවාචකයක් පසුපස ඇත්තේ එවැනි රෝගියෙකු විසින් සිදුකල අපරාධයක්.මේ මානසික රෝග වෙනදාට වඩා අද බහුල වෙලාද ? මානසික රෝගයක් ඇතිවීමට බලපාන හේතුව කුමක්ද ?

අමාරුම දේ මිනිසාව හඳුනා ගැනීමයි.

ලොව පවතින ඉතා අසීරුම කාර්යය වන්නේ මානව චර්යාවන් හඳුනාගැනීමයි. විශේෂයෙන් මිනිසුන් සහේතුකව කටයුතු කරන බැවින් ඔවුන්ගේ චර්යා අර්ථකථනය කරගැනීම අසීරුය. නමුත් ඔවුන්ගේ යම් යම් කරුණු කාරණා මඟින් මානව චර්යාවන් හඳුනාගත හැකිය. මෙහදී සාමාන්‍ය මෙන්ම අසාමාන්‍ය චර්යාවන්ද පවතී.
අසාමාන්‍ය චර්යා මානසික රෝග වශයෙන් හඳුන්වා දිය හැකිය. එමෙන්ම මිනිසුන්ගේ සිතීම පිළිබඳ විකෘතීන් හා හැසිරීම් පිළිබඳ විකෘතීන්ද මෙයට අදාල වේ.

වර්තමානයේ මානසික රෝගීන් වැඩිවෙලාද ?

ආදි කාලීන යුගයේ මානසික රෝග යනුවෙන් හඳුන්වා ඇත්තේ බලගතු යක්ෂෙයෙක් ශරීරගත වීමකි. නොඑසේනම් ආවේෂ වීමක් හෝ බාහිර බලවේගයක් මඟින් මිනිසා ගුප්ත ලෙස මෙහෙයවීමයි.මෙවැනි යක්ෂයින් එළැවීම වෙනුවෙන් මෙරට අතීතයේ පටන්ම යාතු කර්ම හා ශාන්තිකර්ම ආදී විවිධ දේ පැවතුණි.එමෙන්ම කතෝලික ආගමේ පල්ලිය ආශ්‍රිතවද මනුෂ්‍ය ශරීරයට ඇතුළත් අපිරිසිදු ආත්ම පලවා හැරීම වෙනුවෙන් විවිධ පූජා ක්‍රම සංවිධානය විය.

ඇත්තටම මානසික රෝගයක් කියන්නේ කුමක්ද ?

මානසික රෝග ඇති වීමට හේතුවන්නේ මොළයේ ඇතිවන රසායනික අසමතුලිතතාවයි. එවැනි රසායනික අසමතුලිතතා පදනම් කරගෙන සිතීමේ හා හැසිරීමේ අසමතුලිතතා ඇතිවේ.
පුද්ගල හැසිරීමේ හා චර්යාවේ සැලකිය යුතු වෙනසක්  ඇතිවේ නම් හෝ යථාර්ථයට පටහැනිව ක්‍රියාකිරීම පිළිබඳව ව්‍යාබාධ හෙවත් පවත්නා තත්වයට සුදුසු ලෙස වෙනස්වීමට ඇති නොහැකියාවද මානසික රෝගයකි.

මානසික රෝගයක් ඇතිවීමට හේතු මොනවාද ?

මානසික රෝග ඇති වීමට බලපාන ලද හේතු රාශියක් වේ ඒ අතර,
  • ආරය හෙවත් ජානමය සාධක
  • ස්නායු ආබාධ
  • මොලයෙහි ඇතිවන රසායනික වෙනස්කම්
  • මත් පැන් හා මත් ද්‍රව්‍ය භාවිතය
  • විවිධ මනෝ සමාජ ගැටලු

මානසික රෝග වැළඳීමේ අවධානමක් ඇත්තේ කාටද ?

  • ඕනෑම පුද්ගලයෙකුට වැළඳීමේ සම්භාවිතාවක් ඇත.
මෙසේ වැළඳිය හැකි මානසික ආබාධ කොටස් කීපයක් යටතේ වෙන්කර දැක්විය හැකිය.ඕනෑම අයෙක් ඕනෑම අවස්ථාවක මින් කවර හෝ තත්ත්වයකට මුහුණදීමට හැකිය.
  • සුළු මානසික රෝග
  • ප්‍රධාන මානසික රෝග
  • මනෝ දේහිත රෝග
  • ළමා මානසික රෝග
  • මනෝ ලිංගික රෝග
  • පෞරුෂ ආබාධ

ප්‍රතිකාර

  • මානසික රෝග සඳහා ගොදුරු වන බහුතරය තමාට රෝගයක් ඇති බව හඳුනා නොගැනීම ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නකි.
  • තමාගේ සමීපතමයෙකුට මානසික රෝගී තත්ත්වයක් ඇතිවුවොත් ඔවුන් ආශ්‍රයෙන් කොන් නොකර සිටීම ප්‍රධාන කරුණකි.
  • උපදේශනය හා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඔස්සේ මේ මානසික රෝගී තත්ත්ව සුවපත් කළ හැකිය.
  • මානසික රෝගයක් ශාරීරික රෝගයක් මෙන් ඉතා ඉක්මන් සුවයක් ලබන්නක් නොවිය හැකිය.එනිසා එම රෝගියා සමාජයෙන් ඈත් නොකර සිටීම ඉතාම වැදගත්ය.